පෙරදා කතිකාකර ගත් පරිදි , එළඹුන තීරණය ක්‍රියාත්මක කරමින් සිවු දෙනාම රාත්‍රී 10 ආසන්න වන තප්පරයේ පැමිණ සිටියහ. නැවතත් එක් වතාවක් සැලැස්ම සිවුදෙනා වෙත දිග හැරියේ තිතක හෝ එහා මෙහා වීමක් වීම මෙවැනි අවස්ථාවක සිදු නොවිය යුතු බැවිනි.
රයිපලයක්, කිනිස්සක් , සහ තවත් ආත්මාරක්ෂක ආයුධයක් බැගින් සිවුදෙනා ම සතු විය.
" පොර අද හරියටම එන වෙලාව ෂුවර් නේද බං"
" ඔවු . බං ඔවු .කාල සටහනේ හැටියට පොර අද ගෙදර එන්නේ රෑ 12ත් පහු වෙලා."
" කෝකටත් අපි එළියෙන් කෙනෙක් තියමු."
" මචං රංග.උඹ හිටපන් .දොර ලග රබර් ඇහැ දාගෙන.උඹ කොහොමත් තාම මේවට කිරිකෝඩුයි නෙ."
" ඔවු එහෙම හොඳයි බං"
" හරි එහෙනම් ! යමල්ලා"
නිවස වටා සෝදිසියෙන් පසුව කෙලින්ම ඉදිරිපස දොරින් නිවසට ඇතුලු වීම ඒක මතිකවම තීරණය විය. විශාල ඉඩමක පිහිටි ඉතාම පැරණි එම නිවහනේ වුන්න වුන් ගම පමණක් නොව රට ද හැර ගොස් බොහෝ කල්ය. එකල මෙහි වූ කිසිම වටිනාකියන දෙයක් නොවු අතර, දැනට මාස පහකට පමණ පෙර මෙහි පදිංචියට ආ වයස 35ක පමණ කඩවසම් තරුණයෙකි.
නගරාසන්න පිළිගත් ආයතනයක ඉහල රැකියාවක් කරන්නෙකුයැයි සැක කළ හැකි ඔහු, උදෑසනම ආයනය මගින් සපයන ඩබල් කැබ් රථයක නැගී ගොස් ආපසු එම වාහනයෙන් ම නිවස කරා එන්නේ බොහෝ විට රාත්‍රී 8ත් පසු වීය.
නමුත් මාසයේ අවසාන දිනයේ දී ඔහු නිවසට පැමිණෙන වේලාව මධ්‍යම රාත්‍රිය ද පසු කරන බව ඔහු පිලිබදව විමසිල්ලෙන් සිටි සොර දෙටුවන් විසින් සොයා ගන්නා ලදී.
නිවසේ වෙසෙන්නේ තරුණයා පමණි. ඩබල් කැබ් රථයේ නැගී පිටවන හා පැමිණෙන ඔහු කඩවසම් පෙනුමැතිය. සෝ බර මුහුණක් හිමි ඔහු වයසට වඩා වයස පෙනුමැත්තෙකු ලෙසද විටෙක සිතේ. ගම හෝ කිසිම ගම් වාසියකු සමඟ ඇයි හොදයියක් තබා බොහෝමයක් ගම් වාසීන් මොහු සුදු ද කළුදැයි දැක නැතත්. සොර දෙටුවන්ට උපතින්ම හිමිවන බකමූණු ඇස් වලින් මිදෙන්නට ඔහුට ද නොහැකි විය.
නිවාඩු දිනයන් හි දී ද ඔහු නිවසක රැදෙනු දැකිය නොහැකි මුත් , මසකට වරක් හෝ දෙවරක් පැමිණෙන ඔහු වැනිම කෙනෙකුන් හැරෙන්නට කිසිවකු ඔහු බැලීමටවත් මේ නිවසට මෙතෙක් පැමිණි නොමැති බව නිරීක්ෂණයෙන් බැස ගත් නිගමනයන් අතර විය.
“ එහෙනම් රංගයා උඹ ඔතන හිටපන්. .“
තවමත් දඩයමට ආගන්තුකයකු වූ රංග සෝදිසියට නතර කර , ඉතිරි තිදෙනා හීන් හඩක් නං වමින් විවර වූ දොර පියනේ ගෑවි නොගැවි නිවස තුලට ඔත්තේය.
කාමර පහ , හයකින් පමණ යුත් විශාල පැරණි නිවසක් වූ එහි , බොහෝ කාමර පාලු මූසල බවක් ඉසිලූ අතර ,භාවිතයට ගෙන තිබ්බේ කාමර දෙකක් සහ නාන කාමරය පමණි. ඉන් එක් කාමරයක් කෑම කාමරයක් හා තාවකාලික මුළුතැන් ගෙයක් ලෙස භාවිත කරන බැව් පෙනෙන්නට තිබුනි.
භාවිතයට ගෙන තිබූ කාමර පිරිසිදු හා සරල විය. වටිනායමක් තැන්පත් කර ඇතැයි සැක සිතූ ස්ථාන කිහිපයක්ම සොරදෙටුවන්ගේ අත් පහස ලැබූව ද අවසානයේ සුන් වූ බලාපොරොත්තු තුලින් මතු වූයේ කෝපයයි.
අසල තිබූ පිගන් කෝප්ප පිරි මේසයට වේගවත් පා පහරක් එල්ල කල පොඩි ලාල් . සුපුරුදු වාදම වයන්නට වූයේ ඔහුට ආවේණික වූ මවු භාෂාවේ අශ්ශිලී වදන් ද සමඟිනි.
“ බලපන් බන් මූ ෆුල් කිට මරල ෆාඩෝ වල ගියාට අමු හින්නෙක්.“
ගුවනේ පාවී ගිය පිගන් කෝප්ප හඩ නංවමින් බිම වැටෙනවාත් සමගම. බෙලෙක්ක බිම වැටෙන නාදය අභිබවා ආගන්තුක හඩක් නැගෙන්නට විය. කුතුහලය රැදි මුහුණු එකිනෙකා දෙස බලද්දී , තුරන් වී යන බෙලෙක් පිගන් හඩ අබිබවමින් සිහින් සීනු හඩක් නැගෙන්නට විය.
“මොකක් ද බං ඒ ! ! “
“ මේ භූත ගුහාවේ හොල්මන් ඉන්නව කියල මම අහල තියේ බං. වරෙල්ලා බං යන්න.ෂික්... . බොට මම කීවා මේ වැඩේ ....“
කොටාගේ කතාව නිම වන්නටත් පෙර යලිත් නැගුනේ සිහින් සීනු හඩයි. යමකු කැදවන්නාක් වැනි ඒ හඬ පාලු මූසල නිවස පුරා රුව් දුන්නේ . . සොරුන්ගේ වුව ද සිත භීතියට පත් කරමිනි.
විශාල පැරණි නිවසක් වූ එහි සද්දය නැගෙන්නේ කොයිබින් දැයි සොයා ගැනීම බොහෝ අපහසු විය. සිහින් සීනු හඩ යලි යලිත් නද දෙන්නට වූයේ නිහඩ කාලප්‍රාන්තරයන් රදමිනි.
“ යමල්ලා බං“
“ හිටහන්. මේ හොල්මන මොකාද කියල හොයන් මිසක් මම නෙමෙයි මෙතනින් යන්නේ.“
හඩ ඔස්සේ ගිය තිදෙනා , නැවතුනේ සිහින් ළාමක කහ එළියක් නිකුත් වන කාමරයක් ආසන්නයේය.
“ යකෝ තෝකිව නේද කාමර ඔක්කම බැලුව කියල.“
“ ඔවු යකෝ. මේක කොහොමද මට මග අරුනේ.“
“ වරෙල්ලා බං . . . . හිස් අතින් යන්න බැහැ“
කාමරයේ දොර පියනක් නොවූ අතර සිහින් ආලෝකය පෙරී එන තුනී දොර රෙද්ද අතරින් පලමුව ඇතුලු වූයේ පොඩි ලාල් අත වූ රයිපලයයි. ඉන් පසු ඔහුගේ හිසත් ඉන් බොහෝ වේලාවකට පසු ඔහුගේ කදත් කාමරය තුලට පීනුවේය.
අනිත් දෙදෙනා ද ඔහු අනුගමනය කරමින් ඒ තුලට වන්නේ , පැතීරි ගියේ පුදුමාකාර නිහඩ බවකි.
" පුතා , බඩ . . ගි.නි . . . "
කණට ඇසෙන නෑසෙන දුබල හඩින් , කාමරයේ වුන් සයනයේ ඔත් වියපත් මිනිසාගේ ඇමතීමෙන් දඩයමේ පැමිණි තිදෙනාගේ ගොලු වූ හදවතත් , වියලී ගිය දෙනෙතත් තෙත් වුවාදැයි අදුරේ සිටි පාරභෞමිකයාට දැකිය නොහැකි විය.